gossiplanka image 1
විවිධ හේතුන් මත රුධිර නාලවල ලේ කැටි ඇති වී නාල අවහිර වීම සිදු විය හැකිය. මෙවැනි ලේ කැටි වර්ධනය වීම වළක්වා ගැනීමට ලබා දෙන මහඟු ඖෂධයක් වන්නේ වෝෆරින් (Warfarin) ය. වෝෆරින් පිළිබඳව ඔබ මනා අවබෝධයක් ඇති කරගැනීම ඉතාමත් වැදගත් වේ. අපේ ශරිරයේ ඉතා සුළු කැපුමක දී පවා ලේ කැටි ගැසීම අත්‍යවශ්‍ය බව ඔබ දනියි. ඒ දිගින් දිගටම ලේ ගලා යාම වැළැක්වීම සඳහාය. නමුත්, නහරයක ලේ කැටියක් වර්ධනය වූ රෝගියකුට වෛද්‍යවරයා වෝෆරීන් ඖෂධය ලබා දෙන්නේ ලේ කැටි ගැසීම අඩු කිරීම සඳහාය. ඒ අනුව වෝෆරින් ඖෂධය ගන්නා රෝගියකු කැපුම් කෙටුම් වැනි තුවාල සිදුවීමෙන් ප්‍රවේසම් විය යුතුය.


එවැනි තුවාලයක දී ලේ කැටි ගැසීම අඩුවීම තුළින් දිගින් දිගටම ලේ ගලා යාමට ඉඩ තිබෙන නිසාය. වෝෆරින් වැඩි වී ලේ කැටි ගැසීමේ ගුණය මුළුමනින්ම ඇන හිටියොත් එය ද කරදරයකි. හේතුව මෙවැනි අවස්ථාවක දී ශරීරයේ කැපුමක් වැනි දෙයක් නොතිබුණත් විදුරුමස, නාසය වැනි ස්ථානවලින් නිකන්ම ලේ ගලන්නට ඉඩ ඇති බැවිනි. එබැවින් වෝෆරින් මගින් ලේ කැටි ගැසීම කොතරම් දුරට අඩපණ කර තිබේ ද යන්න සොයා බලන පරීක්ෂණ ද තිබේ. 


PT/INR යනු එවැනි පරීක්ෂණයකි. වෝෆරින් ඖෂධය ගන්නා රෝගියකු විටින් විට මෙම පරික්ෂණය කරවා ගැනීම ඉතා වැදගත් වේ. කෙසේ වුව ද වෝෆරින් භාවිත කරන රෝගියකුගේ ලේ කැටි ගැසීම ඉතා අඩු විය හැකි නිසා සැහැල්ලුවෙන් නහර හිරවීමකින් තොරව ජීවිතය ගෙන යා හැකිය. නමුත් මෙහි දී තවත් ගැටලුවක් ඇති වීමට පුළුවන. එනම් වෙනත් රෝගවලට ගන්නා විවිධාකාර ඖෂධ වෝෆරීන් සමඟ ගැටීමට ඇති හැකියාවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්කෝ වෝෆරින් තවත් බලගතු වීමය. නැතහොත් දුර්වල වීමය. බලගතු වුණොත් එහි ප්‍රතිඵලය වන්නේ ශරීරයේ කොතැනක හෝ ඇති වන දැඩි ලේ ගැලීමකි. මේ ලේ ගැලීම අපට පෙනෙන තැන්වල මෙන්ම ශරීරය ඇතුළත අපට නොපෙනෙන තැන්වල ද සිදුවිය හැකිය. ආහාර මාර්ගයේ ලේ ගැලීමක් ඇති වුණොත් ලේ ද ආහාරයක් ලෙස දිරවා කළු පැහැයෙන් මල පිට වෙයි. 



ඒ එක් උදාහරණයක් පමණි' එසේම ලේ කැටි ගැසීමේ අවදානමක් ඇති රෝගියකුට වෝෆරින් අඩු වුණොත් එය ඒ රෝගියාට ජීවිත අවදානමක් වේ. වෝෆරින් ගන්නා සමහර රෝගීන් වෛද්‍යවරයා වෙත යන්නේ වෝෆරින් අවසාන වී දිනක් දෙකක් ඉකුත් වූ පසුවය. එවිට ඔබේ ශරීරයේ වෝෆරීන් නැති නිසා PT/INR අඩු මට්ටමක් පෙන්වනු ඇත. මෙහි දී "ඔබ වෝෆරීන් මේ දක්වාම නොකඩවාම ගත්තාදැ”යි වෛද්‍යවරයා ඔබෙන් විමසනු ඇත. බොහෝ රෝගීන් එවිට "ඔව්” යනුවෙන් පිළිතුරු දෙන්නේ දිනක් දෙකක් එය නොගත් බව කී විට වෛද්‍යවරයා බැණ වදීවි යැයි බියෙනි. මේ අනුව වෛද්‍යවරයා සිතන්නේ ඔබ නොකඩවාම ඒ දක්වාම වෝෆරින් ගත් බවයි. එසේ වෝෆරින් ඔබ අරගෙන තිබියදීත් ශරීරයේ වෝෆරින් මට්ටම අඩු වී තිබෙන්නේ ඔබට ලැබෙන වෝෆරින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා බවට වෛද්‍යවරයා තීරණය කරනු ඇත. යම් හෙයකින් මේ අවස්ථාවේ වෝෆරින් දශමයකින් හෝ වැඩි කළොත් එය විශාල ලේ ගැලීමක් බවට පත්විය හැකිය. ඒ ඔබේම නොසැලකිල්ල මත ඔබම කරගත් දෙයකි. එබැවින් ඔබ වෛද්‍යවරයා වෙත යා යුත්තේ වෝෆරින් අවසන් වූ පසු නොව, එම ඖෂධය ඔබ සතුව තිබෙන අතරේ බව විශේෂයෙන් අවධාරණය කරවමු. සමහරු වෝෆරින් මිලි. ග්‍රෑම් 2 1/2 ක් ගන්නට නියම කළ විට මි.ග්‍රෑ. පහේ පෙත්ත දෙකට කඩා පානය කරති. මෙය ඉතා අහිතකර වීමට පුළුවන. හේතුව හරියටම 2.5කට එම පෙත්ත වෙන් කර ගත නොහැකි නිසාය. මි.ග්‍රෑ එකක පෙත්තක් දෙකට කඩා දශම පහ බැගින් වෙන් කර ගැනීමට සිදුවීමෙන් මෙතරම් ලොකු ගැටලු මතුවන්නේ නැත. ඔබ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඕනෑම වෛද්‍යවරයකු වෙත ගිය විට ඔබ වෝෆරින් ඖෂධය භාවිත කරන බව නොසඟවා, අමතක නොකරම වෛද්‍යවරයාට පවසන්න. අඩුම තරමින් සෙම්ප්‍රතිශ්‍යාවක්, තුවාල වීමක් සඳහාවත් කිසිදු අලුත් ඖෂධයක් ඔබ හිතුමනාපයට ගැනීම නොකළ යුතුය.